ප්‍රධාන අන්තර්ගතයට යන්න
Art notes
කලා ඉතිහාසයශ්‍රී ලාංකික කලාවමහනුවර සිතුවම්

දඹුල්ල ලෙන් විහාරයේ චිත්‍ර හා මූර්ති: කලාත්මක ලක්ෂණ හඳුනාගනිමු

දඹුල්ලට යන ගොඩක් අය බුදු පිළිම බලලා එනවා, ලෙන් වියනේ තියෙන කතාව බලන්නේ නැහැ. සිතුවම් සහ මූර්ති කියවන විදිය, 10 සහ 12 ශ්‍රේණිවල සිසුන්ට සහ සංචාරකයන්ට.

ලියා ඇත්තේ නිල්මිණි ජයසේකර (කලා ගුරුවරිය) විසිනි ප්‍රකාශිත 2026 ඉල් 4 කියවීමට මිනිත්තු 6 නැරඹීම් 17 දඹුල්ල
දඹුල්ල ලෙන් විහාරයේ චිත්‍ර හා මූර්ති: කලාත්මක ලක්ෂණ හඳුනාගනිමු

දඹුලු ලෙන් විහාරයට ඇතුළු වුණු ගමන්ම අපේ නෙත මුලින්ම ගැටෙන්නේ නිසලව වැඩහිඳින බුද්ධ ප්‍රතිමා පෙළ දෙසටයි. ඒත් එතැනින් නොනැවතී මොහොතක් පසෙකට වී ලෙනේ බිත්ති දිහාත්, හිස ඔසවා ඉහළින් ඇති අඳුරු ගල් වියන දිහාත් බලන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතා, එක පෙළට ඇඳි බුද්ධ රූප සහ මල් රටා මුළු ලෙන් පියස්ස පුරාම පැතිරී තිබෙන අයුරු ඔබට පෙනේවි.

මේ සිතුවම් නිර්මාණය කළ පැරණි සිත්තරා අපිට කතාවක් කියන්නේ කොහොමද? රූපවලට පණ දෙන්නේ කුමන රේඛාවලින්ද? මේ දේවල් හඳුනාගෙන බැලුවොත්, 10 සහ 12 ශ්‍රේණිවල චිත්‍ර කලාව හදාරන සිසුවෙකුට වගේම, සැබෑ කලා රසයක් සොයන සංචාරකයෙකුටත් දඹුල්ලේ සංචාරය අපූරු ප්‍රායෝගික චිත්‍ර පාඩමක් බවට පත් වෙනවා නිසැකයි.

දඹුල්ල මහාරාජ ලෙනේ සිතුවම් සහිත ගල් වියන
මහාරාජ ලෙනේ සිතුවම් සහිත ගල් වියන. Photo: Josep Renalias Lohen11, CC BY 4.0, Wikimedia Commons

පැරණි පුදබිමක මහනුවර යුගයේ කලා සලකුණු

දඹුල්ල විහාරයේ ආරම්භය ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ (ක්‍රි.පූ. 1) දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ අනුරාධපුරයෙන් බැහැරව පලා ආ වළගම්බා හෙවත් වට්ටගාමිණී අභය රජතුමා මේ ගල් ලෙන්වල සැඟවී රැකවරණය ලැබීමේ ඓතිහාසික පුවත සමඟ සම්බන්ධ වෙනවා. පසුව විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් විහාරයට අලුත් අංග එකතු වී, පැරණි නිර්මාණ ප්‍රතිසංස්කරණය වුණා. 1991 දී මෙම පුදබිම යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙස නම් කෙරුණා.

මෙහිදී අප මතක තබාගත යුතු වැදගත්ම කරුණක් තිබෙනවා: ලෙන ඈත අතීතයට අයත් වුණත්, අද පෙනෙන සිතුවම්වලින් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ 18 වැනි සියවසේ මහනුවර සම්ප්‍රදායටයි. සියවස් ගණනාවක් තිස්සේ පැරණි සිතුවම් මත නැවත සිතුවම් ඇඳ තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ සිදුවූ ප්‍රතිසංස්කරණත් සමඟ මේ සිතුවම් ඇඳීමේ මූලික ගෞරවය හිමි වෙන්නේ ප්‍රකට නීලගම සිත්තර පරම්පරාවටයි.

ප්‍රධාන ලෙන් පහ කෙටියෙන්

දඹුල්ලේ විවිධත්වය මනාව දැකගත හැක්කේ ප්‍රධාන ලෙන් පහ නැරඹීමෙනි:

  • දේවරාජ ලෙන: ලෙන තුළ ඇති මීටර් 14ක් පමණ දිගැති, ගලෙන්ම නෙළන ලද පිරිනිවන් බුද්ධ ප්‍රතිමාව මෙහි ප්‍රධාන වේ. ආනන්ද හිමියන්ගේ සහ විෂ්ණු දෙවිඳුන්ගේ රූපද මෙහි දැකගත හැකියි.
  • මහාරාජ ලෙන: විශාලතම මෙන්ම සිතුවම් නැරඹීමට හොඳම ලෙනයි. බුදු පිළිම 56ක්, චෛත්‍යයක්, වළගම්බා සහ නිශ්ශංකමල්ල රජවරුන්ගේ ප්‍රතිමා මෙන්ම සිවිලිමෙන් බඳුනකට බිංදු වැටෙන පූජනීය ජල උල්පත පිහිටියේ මෙහිය.
  • මහා අලුත් විහාරය: 18 වන සියවසේ මහනුවර යුගයට අයත් වන මෙහි බුදු පිළිම 50ක් පමණ සහ සුවිශේෂී සිතුවම් රැසක් දැකගත හැකියි.
  • පශ්චිම විහාරය: ප්‍රමාණයෙන් කුඩා ලෙනක් වන අතර, මධ්‍යයේ ඇති බුද්ධ ප්‍රතිමාව විසිතුරු මකර තොරණක් යට වැඩහිඳියි.
  • දෙවන අලුත් විහාරය: පසුකාලීනව සකස් කරන ලද ලෙනක් වන මෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමා මෙන්ම දේව රූපද දැකගත හැකියි.
දඹුල්ල දේවරාජ ලෙනේ මීටර් 14ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාව
දේවරාජ ලෙනේ මීටර් 14ක් පමණ දිග ප්‍රතිමාව. Photo: Philip Nalangan, CC BY 4.0, Wikimedia Commons
දඹුල්ල මහාරාජ ලෙනේ ඇතුළත
විශාලතම ලෙන වන මහාරාජ ලෙන. Photo: Dan Lundberg, CC BY-SA 2.0, Wikimedia Commons
දඹුල්ල මහා අලුත් විහාරයේ පෙළට ඇති හිටි බුද්ධ ප්‍රතිමා
මහා අලුත් විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමා පෙළ. Photo: Josep Renalias Lohen11, CC BY 4.0, Wikimedia Commons
දඹුල්ල දෙවන අලුත් විහාරයේ නා පෙණයක් යට වැඩහිඳින බුද්ධ ප්‍රතිමාව
දෙවන අලුත් විහාරයේ මුචලින්ද නා රජුගේ පෙණය යට බුදු පිළිමය. Photo: Michael Gunther, CC BY-SA 4.0, Wikimedia Commons

බිත්තියක් දිගේ දිගහැරෙන කතාවක්: "අඛණ්ඩ කථන ක්‍රමය"

දඹුල්ලේ සිතුවම්වල බුද්ධ චරිතය, සූවිසි විවරණය, ජාතක කතා සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් දැක්වෙනවා. ඒවා බලද්දී එක රූපයකින් විතරක් නතර වෙන්න එපා; ඒ අසලින් තිරස් තීරුවක් ලෙස ගලායන ඊළඟ දර්ශනය දෙසත් බලන්න. මෙහි සිදුවීම් කිහිපයක් එකිනෙකට සම්බන්ධව ඉදිරියට ගලායන අඛණ්ඩ කථන ක්‍රමය (Continuous Narrative Method) දැකගත හැකියි. එකම කතාවේ වෙනස් අවස්ථා පෙන්වීමට ප්‍රධාන චරිතය නැවත නැවතත් එකම තීරුවේ පෙනී සිටින්න පුළුවන්. ඒ නිසා සිතුවම තේරුම් ගන්න නම්, රූප හඳුනාගැනීමත් සමඟ සිදුවීම් පෙළගැසී ඇති අනුපිළිවෙළත් සොයා බැලිය යුතුයි.

දඹුල්ල ගල් වියනේ තිරස් තීරු ලෙස ඇඳි සිතුවම්
ගල් වියනේ තිරස් තීරු ලෙස පෙළගැසුණු සිතුවම්. Photo: Cherubino, CC BY-SA 3.0, Wikimedia Commons

දඹුල්ලේදී අවධානයෙන් නැරඹිය යුතු සිතුවම්

ලෙන් වියන් පරීක්ෂා කරන විට අපේ ඇස විශේෂයෙන්ම යොමු විය යුතු සිතුවම් මෙසේ හඳුනාගනිමු:

1. මාර පරාජය

ගල් වියනේ ඇති වඩාත්ම නාට්‍යමය සිතුවම මෙයයි:

  • සිතුවම මධ්‍යයේ බුදුරජාණන් වහන්සේ අසුනක වැඩහිඳිමින් මිහිකත සාක්ෂි දරන 'භූමිස්පර්ශ මුද්‍රාව' දක්වන අයුරු පෙනේ. උන්වහන්සේ වටා ඇති ප්‍රභා මණ්ඩලය තැඹිලි සහ රතු පැහැති ගිනිදැල් මෝස්තරවලින් හැඩගන්වා ඇත.
  • ඒ වටා ආයුධ සහ දුනු ඊතල දරා සිටින, විකෘති මුහුණු ඇති මාර සේනාව තදින් පෙළගස්වා ඇඳ තිබේ. කතාවට අනුව මාරයා පැමිණියේ ගිරිමේඛලා ඇතා පිටයි.
  • කලාත්මක ලක්ෂණය: මෙහිදී සිත්තරා මාර සේනාවේ ඇති කලබලකාරී රෞද්‍ර බවත්, බුදුරදුන්ගේ මුහුණේ ඇති නොසැලෙන ශාන්ත බවත් අතර ප්‍රබල පරස්පරතාවක් (Contrast) මඟින් භාව ප්‍රකාශනය විශිෂ්ට ලෙස මතු කර ඇත.
දඹුල්ල ගල් වියනේ ඇඳි මාර සේනාව
මාර සේනාව: රූප තදින් පෙළගස්වා ඇඳ ඇති ආකාරය බලන්න. Photo: Michael Gunther, CC BY-SA 4.0, Wikimedia Commons

2. මාර දූවරුන් පරාජය කිරීම

බුද්ධත්වයෙන් පසු පස්වන සතියේ තණ්හා, රතී, රඟා යන මාර දූවරුන් බුදුරදුන් වසඟයට ගැනීමට තැත් කළ කතාව මෙහි දැක්වේ. කාන්තා රූප නිරූපණයේදී සිහින් ඉඟ, සාම්ප්‍රදායික ආභරණ සහ රැළි වැටුණු ඇඳුම් ඉතා නම්‍යශීලී රේඛාවලින් දක්වා ඇත. ඒ අතර බුදුරුව ධ්‍යාන මුද්‍රාවෙන් නොසැලී වැඩහිඳියි.

දඹුල්ල සිතුවම: ධ්‍යාන මුද්‍රාවෙන් වැඩහිඳින බුදුරුව සහ මාර දූවරුන්
මාර දූවරුන් සහ නොසැලී වැඩහිඳින බුදුරුව.

3. එළාර - දුටුගැමුණු යුද්ධය

ආගමික තේමාවලට අමතරව අපේ රටේ ඓතිහාසික සිදුවීම් ද ගල් වියනට නැඟී ඇත. එළාර - දුටුගැමුණු යුද්ධය ඒ අතර එකකි. කතාවට අනුව දුටුගැමුණු රජතුමා කඩොල් ඇතා පිට නැඟී, මහාපබ්බත ඇතා පිට සිටි එළාර රජු සමඟ සටන් වැදුණා. ලෙනේදී මේ සිතුවම සොයාගෙන, සටන රේඛාවෙන් සහ රූප පෙළගැස්මෙන් දක්වා ඇති ආකාරය බලන්න.

4. මහින්දාගමනය සහ ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම

  • මහින්දාගමනය: කතාවට අනුව දේවානම්පියතිස්ස රජතුමා මිස්සක පව්වේ මුව දඩයමේ යද්දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස හමු වුණා. සිතුවමේ දුන්න ඇද ගත් රූපයක්, පසුපසින් පෙළට සිටින පිරිසක්, පැන දුවන මුවෙක්, ගසක් සහ භික්ෂු රූප පෙළක් දැකගත හැකියි.
  • ශ්‍රී මහා බෝධිය: කතාවට අනුව සංඝමිත්තා තෙරණිය බෝධි අංකුරය රැගෙන නැවෙන් පැමිණි විට දේවානම්පියතිස්ස රජතුමා එය මුහුදේදී පිළිගත්තා. සිතුවමේ තීරු කිහිපයක පෙළගැසුණු පිරිස්, ගොඩනැගිලි සහ ඇතෙක් දැකගත හැකියි.
මහින්දාගමනය සහ ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම දැක්වෙන දඹුලු බිතුසිතුවම
දුන්න ඇද ගත් රූපය සහ මුවා (මහින්දාගමනය), සහ ඇතා සහිත පෙළගැසුණු පිරිස් (ශ්‍රී මහා බෝධිය). මූලාශ්‍රය: Vectronics (Kala Lowe Navathan).

5. "දහසක් බුදුවරුන්ගේ රූප" සහ "අනෝතප්ත විල"

  • දහසක් බුදුරූ: ලෙන් වියන් පුරා එකම මට්ටමකට, එකම ප්‍රමාණයට, ආරුක්කු තුළ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩහිඳින බුදුරුව සිය ගණනක් පේළි ගැසී ඇත. මෙය නරඹන්නා භාවනාමය සන්සුන් මනෝභාවයකට පත් කරන අපූරු දෘශ්‍ය රිද්මයකි.
  • අනෝතප්ත විල: හිමාල වනයේ පිහිටි අනෝතප්ත විල ඇඳ ඇත්තේ සර්පණාකාර, දඟර ගැසුණු රේඛා සහ මෝස්තර රටා භාවිත කරමිනි. එය නූතන වියුක්ත (Abstract) කලාව සිහිපත් කරන අලංකාර නිර්මාණ සැකැස්මකි.
දඹුල්ල ගල් වියනේ පේළි ගැසුණු බුද්ධ රූප
දහසක් බුදුරූ: පේළි ගැසුණු බුද්ධ රූප. Photo: Z thomas, CC BY-SA 4.0, Wikimedia Commons
දඹුල්ල සිතුවම: දඟර රේඛාවලින් ඇඳි අනෝතප්ත විල
අනෝතප්ත විල: දඟර ගැසුණු රේඛා.

රේඛාව, වර්ණය සහ තලය භාවිතය

දඹුලු සිතුවම්වල රූපයක පිටත හැඩය පෙන්වන රේඛාකරණය (Line Work) ඉතා වැදගත් වේ. මුහුණේ හැඩය, අතක ඉරියව්ව සහ ඇඳුම්වල රැලි වෙන්කර දක්වන්නේ ශක්තිමත් බාහිර රේඛාවලිනි.

  • වර්ණ භාවිතය: රතු සහ කහ පැහැයන් ප්‍රමුඛව කැපී පෙනෙන අතර සුදු, කළු සහ මඳ කොළ පැහැයන් විස්තර පැහැදිලි කිරීමට යොදාගෙන තිබේ. මේවා වියළි බදාමය මත ස්වාභාවික වර්ණක යොදා අඳින ලද ටෙම්පරා (Tempera) ක්‍රමයේ සිතුවම්ය.
  • පැතලි වර්ණ තල (Flat color planes): සෙවණැලි රහිතව පැතලි ලෙස වර්ණ පුරවා ඇත. ත්‍රිමාන ගැඹුරට වඩා රූපයේ හැඩයත්, කතාන්දරයත් පැහැදිලි කිරීම මෙහි අරමුණයි.
  • තලය භාවිතය: සිත්තරා හිස් ඉඩක් නොතබා මල් සහ ලියවැල් රටාවලින් රූප අතර ඉඩ පුරවා මුළු සිතුවම් තලයම එකට සම්බන්ධ කර තිබේ.
දඹුල්ල සිතුවමේ රේඛා සහ පැතලි වර්ණ
ශක්තිමත් රේඛා සහ පැතලි වර්ණ තල. Photo: Bernard Gagnon, CC BY-SA 3.0, Wikimedia Commons

12 ශ්‍රේණියේ සිසුන්ට සංසන්දනයක්

  • සීගිරි සිතුවම්වලදී සිත්තරා ආලෝකය සහ අඳුර (Chiaroscuro) මඟින් රූපවලට ත්‍රිමාන ගැඹුරක් දීමට උත්සාහ කළේය.
  • දඹුල්ලේ මහනුවර සිත්තරා සෙවණැලි රහිත පැතලි වර්ණ තල සහ තියුණු රේඛාව භාවිත කරමින් මුළු ගල් වියනම විසිතුරු අලංකාරික මෝස්තරයක් සේ සකස් කළේය.

ප්‍රතිමා සහ සිතුවම් එක්තැන් වන අසිරිය

දඹුල්ලේ හිඳි, හිටි සහ සැතපෙන බුද්ධ ප්‍රතිමා නරඹන විට ඒවායේ විවිධ හස්ත මුද්‍රා, මුහුණේ ශාන්ත බව සහ සිවුරේ රැලි නිරීක්ෂණය කරන්න.

ඉන්පසු ප්‍රතිමාව දෙස පමණක් නොව, එයට පිටුපසින් ඇති සිතුවම් පසුබිම සමඟත් එය බලන්න. ගලෙන් හෝ බදාමයෙන් කළ මූර්තියත්, ගල් වියනේ ඇඳි ද්විමාන සිතුවමත් එකිනෙක බද්ධ වෙමින් ලෙන තුළ ගොඩනඟන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි ආගමික සහ ශාන්ත පරිසරයකි.

දඹුල්ල මහා අලුත් විහාරයේ තොරණක් යට බුද්ධ ප්‍රතිමාව
මහා අලුත් විහාරය: ප්‍රතිමාව, තොරණ සහ සිතුවම් පසුබිම එකට. Photo: Michael Gunther, CC BY-SA 4.0, Wikimedia Commons

විභාගයට සූදානම් වන සිසුවෙකුට සහ රසවිඳින සංචාරකයෙකුට

  • සිසුන්ට උපදෙසක්: විභාග ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී ඓතිහාසික පසුබිම (යුගය, අනුග්‍රහය, නීලගම ශිල්පීන්), ලෙන් පහේ නම්, ප්‍රධාන සිතුවම් (මාර පරාජය, මහින්දාගමනය ආදී) සහ කලාත්මක ඇගයීම (ද්විමාන ශෛලිය, ටෙම්පරා ක්‍රමය, පැතලි වර්ණ, චතුර රේඛාකරණය, තලය පිරවීම, භාව ප්‍රකාශනය) යන කරුණු නිදසුන් සමඟ පිළිවෙළකට සංවිධානය කිරීම සාර්ථක පිළිතුරක් ගොඩනැඟීමට උපකාරී වේ.
  • සංචාරක ඔබට: ලෙන් නැරඹීමට පෙර පාවහන් ගලවා තැන්පත් කරන්න; සුදුසු විනීත ඇඳුමකින් සැරසෙන්න. බුදු පිළිමවලට පිටුපා ඡායාරූප ගැනීමෙන් වළකින්න. සිතුවම්වල ස්වාභාවික වර්ණක රැකගැනීම සඳහා ලෙන් තුළ Flash භාවිත නොකරන්න.

ඊළඟ වතාවේ ඔබ දඹුල්ලට ගියොත්, මහාරාජ ලෙනේ මැද මොහොතක් නිහඬව නැවතී හිස ඔසවා බලන්න. "මෙහි කියවෙන කතාව කුමක්ද? රේඛාවෙන් සහ වර්ණයෙන් සිත්තරා එයට පණ දුන්නේ කොහොමද? ප්‍රතිමාවත් සිතුවමත් අතර ඇති බැඳීම කුමක්ද?" කියා සිතන්න. චිත්‍ර කලාව හදාරන සිසුවෙකුටත්, සැබෑ කලා රසය විඳින්න කැමති සංචාරකයෙකුටත් දඹුල්ලේ නිර්මාණ සමීපව හඳුනාගන්න හොඳම ආරම්භය එයයි.

තවත් ලිපි

සියලු ලිපි